ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට චීනයේ සහාය තවදුරටත් චීන නියෝජ්‍ය අගමැති සහ ඇමති බැසිල් හමුවක්


ශ්‍රී ලංකීය ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සහ රැකියා අවස්ථා බිහිකිරීමට හැකි විවිධ කාර්මික නිෂ්පාදන ආශ්‍රිත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ සංචාරක කර්මාන්තය සදහා අවශ්‍ය ආධාර ලබාදී රටතුළ සංවර්ධන කටයුතු සඳහා තවදුරටත් සහාය ලබාදීමට චීනය කටයුතු කරන බව චීනයේ නියෝජ්‍ය අගමැති සහ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල ස්ථාවර කමිටුවේ සමාජික ලියු යුංෂාන් මහතා ප්‍රකාශ කළේය.

ඉකුත් මැයි මස චීනයේ නිල සංචාරකයක යෙදුණු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවට තෙදින සංචාරයක් සඳහා සැප්තැම්බර් 08වැනිදා පැමිණි චීන නියෝජ්‍ය අගමැතිවරයා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම අමාත්‍යාංශයේදී 09වන සඳුදා හමුවී කළ සාකච්ඡාවේදී මේ බව ප්‍රකාශ කළේය. චීනයේ ඉහළතම ප්‍රතිපත්ති සම්පාදන ආයතනය වන චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ස්ථාවර කමිටුවේ සාමාජිකයින් 07දෙනාගෙන් ජේෂ්ඨත්වයෙන් පස්වැන්නා වන ලියු යුංෂාන් මහතා නියෝජ්‍ය අගමැතිවරයා වශයෙන්ද සැලකේ.

දෙරට අතර පවතින ද්විපාර්ෂික සබදතා තවදුරටත් වර්ධනය කරවා ගැනීමේ අරමුණින් තම සංචාරය සිදුකරන බව පෙන්වාදුන් ලියු යුංෂාන් මහතා සංචාරක, සංස්කෘතික සහ මාධ්‍ය කේෂේත්‍රයන් පිළිබදව ප්‍රධාන වශයෙන් සිය අවධානය යොමුකර සිටියේය. ශ්‍රී ලංකාවේ දේශපාලන වාතාවරණය සහ ආර්ථික සංවර්ධනය පිළිබදව සිය සතුට ප්‍රකාශකළ හෙතෙම විවිධ ආයෝජන සිදුකිරීම සදහා චීන ආයෝජකයින් ඉදිරියේදී වඩ වඩාත් පැමිණෙනු ඇතැයි අවධාරණය කළේය.

වසර 30කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ පැවති යුධ වාතාවරණයේදී මෙන්ම යුද්ධයෙන් පසු රට සංවර්ධනය කිරීම සදහා ශ්‍රී ලංකා රජය ආරම්භකල සංවර්ධන ක්‍රියාවලියට චීනය නිරතුරුව ලබාදුන් සහාය මෙහිදී සිහිපත් කල අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඒ පිළිබදව චීන රජයට සහ ජනතාවට සිය කෘතඥතාවය පළ කළේය. රටේ සංවර්ධන කටයුතු මෙන්ම ජනතාවගේ ජීවනෝපාය සංවර්ධනය කිරීම ඇතුළු කටයුතු සදහා චීනයේ අඛන්ඩ සහාය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ශක්තියක්වූ බවත් එයට බලපානු ලැබුවේ දෙරට අතර තිබූ මිත්‍රශීලිත්වය සහ මනා අවබෝධය බවද අමාත්‍ය රාජපක්ෂ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දක්වමින් ලියු යුංෂාන් මහතා කියා සිටියේ  ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සදහා චීන ජාතිකයින් ආකර්ෂණය කරවා ගැනීමට ශ්‍රී ලංකාවේ සුන්දරත්වය පිළිබදව චීනයේ ජනතාව දැනුවත් කිරීම සදහා රූපවාහිනී වැඩසටහන් ගණනාවක් චීන රූපවාහිනී සේවය මගින් නිෂ්පාදනයකර විකාශනය කිරීමේ කටයුතු දැනටමත් කටයුතු කරගෙන යන බවය. තවද ශ්‍රී ලංකාවේ සුන්දරත්වය සමග ගැලපෙන වනජීවින්, වැසි වනාන්තර, කුළුබඩු පිළිබදව මෙන්ම සුන්දර වෙරළ තීරයේ ආකර්ෂණය පිළිබදව ලොවපුරා ප්‍රචලිත කිරීමට රජය ගන්නා විශිෂ්ඨ සබදතා පිළිබදව හෙතෙම සිය ප්‍රසාදය පළ කළේය.

මෙහිදී චීනය සහ ශ්‍රී ලංකාව අතර සංචාරක අංශයන් දියුණු කිරීමට සංචාරක අමාත්‍යවරයා වශයෙන් තමා කටයුතු කරන බවද වසර 2015වන විට චීන සංචාරකයින් ලක්ෂයක් ලංකාවට ගෙන ඒම රජයේ අරමුණ බවද ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය. ශ්‍රී ලංකාවේ ජන ජීවිතය නැංවීමේ අරමුණින් සාර්ථකව ක්‍රියාත්මකවන දිවි නැගුම, ගම නැගුම සහ පුර නැගුම වැඩසටහන් පිළිබඳවද හෙතෙම පැහැදිලි කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ චීන නියෝජ්‍ය අගමැතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ දැනට තිබෙන දේශපාලන ස්ථාවරත්වය රට තුළ ආයෝජන සහ වෙළෙඳ ගණදෙනු ඉහළ යෑමට ප්‍රධාන හේතුවක්වී තිබෙන බවය.

මෙම සාකච්ඡාවට චීන රජය නියෝජනය කරමින් චීනයේ උප අමාත්‍යවරුන් වන චෙන් ෆෙන්සියැන්ග්, වැන්ග් එරෙන්ග්, සන් සුජූන්, ජැයෑන් ජිකූන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති වූ ජියැන් හෝ යන මහත්වරුන්ද ජේෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි, පරිසර සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, නිවාස සහ ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිලංග සුමතිපාල සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ බස්නාහිර පළාත් ආණ්ඩුකාර ‍ අලවි මව්ලානා, විදේශ අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත්, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති භාෂ්වර ගුණරත්න යන මහත්වරුන් ඇතුළු ජේෂ්ඨ නිළධාරින් කිහිප දෙනෙක්ම සහභාගී වූහ.


•Video filming by: Krishantha Thilakarathna
•Video Editing : Viraj Asanka
•Pictures by: Darshana Karunarathna
•Reports by: Kapila Ariyavansha
•Compiled by: Dharman Wickremaratne