යන්ත්‍රෝපකරණ ලබාදීමේ උත්සවය

මුළු දිවයිනේම පළාත්බද මාර්ග සංවර්ධනය හා වාරිමාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේ වැඩසටහන වේගවත් කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 115 ක් පමණ වටිනා යන්ත්‍රෝපකරණ තොගයක් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මැතිතුමා විසින් ඔක්තෝම්බර් 9 දා බෙදා දෙන ලදි. මෙම උත්සවය ගාළුමුවදොර පිටියේදී පැවැත්වුණි.

දිවයින පුරා පළාත්බද මාර්ග ජාලයේ සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ජනාධිපති කටයුතු කරන ලෙස අතිගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මැතිතුමාට උපදෙස් දී ඇත. ඒ අනුව 2011 වසරේදී දිවයිනේ පළාත් බද මාර්ග කිලෝමීටර් 3740 ක දුර ප්‍රමාණයක් කාපට් කර සංවර්ධනය කිරීම සිදු කරනු ඇත. මෙම සම්පූර්ණ ව්‍යාපෘතියට රුපියල් මිලියන 22,000 ක මුදලක් ඇස්තමේන්තු කර ඇත. යෝජිත සංවර්ධන ව්‍යාපෘතියට මාර්ග කාපට් කිරීම, පදික වේදිකා වැඩිදියුණු කිරීම ආදිය සිදුවේ.

එසේම ආර්ථික සංව‍ර්ධන අමාත්‍යාංශය විසින් දිවයින පුරා පිහිටි වාරිමාර්ග පුණරුත්තාපනය හා සංවර්ධනය කිරීමටද කටයුතු කරගෙන යයි. මෙම යන්ත්‍රෝපකරණ විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශ වල සහ ආර්ථික වශයෙන් වැදගත් වන සමාජයීය හා ආර්ථික සංවර්ධන ක්‍රියාකාරකම් වෙනුවෙන් කඩිනමින් යෙදවීමට ආර්ථික සංව‍ර්ධන අමාත්‍යාංශය අපේක්‍ෂා කරනු ලබයි.

මෙම යන්ත්‍රෝපකරණ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය, කෘෂි සේවා හා වනජීවි අමාත්‍යාංශය, රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරිය, බස්නාහිර පළාත් සංවර්ධන අධිකාරිය හා අනෙකුත් රාජ්‍ය ආයතන කිහිපයක් අතර බෙදා දෙන ලදි.

මෙම අවස්ථාවට වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා කෘෂි සේවා හා වනජීවි අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන ඉදිකිරීම් ඉන්ජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න , මාර්ග සංවර්ධන, නිවාස, ඉදිකිරීම්, ධීවර හා සංචාරක බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලන්සා සහ මැති ඇමතිවරුන් ඇතුළුව වශාල පිරිසක් සහභාගි වූහ.